1010 Avenue of the Moon
New York, NY 10018 US.
Mon - Sat 8.00 - 18.00
Sunday CLOSED

සියවසේ අභිමානයට තිසරණයේ ආශීර්වාදය

  • Comments: 0
  • Posted by: VajiraramaAdmin

2018 අගෝස්තු 18 වන අද දිනට සිරි වජිරාරාම දහම් පාසලට සියවසක් සපිරෙයි..

බු.ව. 2462 නිකිණි මස 18 වන රිවි දින, ‘ධර්ම පන්තියක්’ ලෙස ඇරඹුණු සිරි වජිරාරාම දහම් පාසල අතිපුජ්‍ය පැලෑණේ සිරි වජිරඤාණ නාහිමිපානන්වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වුවකි. අද දිනට සියවසක් සමරන සිරි වජිරාරාම දහම් පාසලේ මූලාරම්භය එසේ සිදු විය.

බටහිරකරණය වෙමින් තිබූ සිංහල පවුල්වල දරුවන් දේශීය චින්තනයෙන් සවිමත් කිරීමත්, ඔවුන් තුළ බෞද්ධාගමික දැනුම වර්ධනය කිරීමත් යනාදී කරුණු පෙරදැරි කරගෙන ආරම්භ වුණු මෙම ධර්ම පන්තියයෙන් එවක සිටි ජාතික නායකයන්ගේ පටන් මේ දක්වා රාජ්‍ය නායකයින් ඇතුලු බොහෝ පිරිසක් දහම් අධ්‍යාපනය ලබා ඇත.

සිරි වජිරාරාම දහම් පාසලේ සමාරම්භක ප‍්‍රධානාචාර්ය වරයාණන් වහන්සේ ලෙස පැළෑනේ මහා නා හිමිපාණන් වහන්සේ කටයුතු කළ අතර 1955 දී උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේ වජිරාරාමාධිපති ධුරයට පත් වූ අතර දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ධුරය අම්පිටියේ රාහුල මාහිමිපාණන් වහන්සේ දරන ලද්දාහ. 1962 දී දික්වැල්ලේ මහින්ද හිමිපාණන් ද 1968 දී සිරිමෙවන් පියසිංහ මහතා ද මෙහි ප‍්‍රධානාචාර්ය ධුරය දරා ඇත. සිරිමෙවන් පියසිංහ මහතාගේ වසර ගණනාවක් පුරා දිවෙන ප‍්‍රධානාචාර්ය කාල පරිච්ෙඡදය ආදි ශිෂ්‍ය – ශිෂ්‍යාවන් සමරන්නේ කෘතවේදීත්වයෙනි. එසේ ම වජිරාරාමාධිකාරී ධුර දැරූ පූජනීය කඹුරුගමුවේ මහානාම, දෙණිපිටියේ සුමනසිරි, පියදස්සී යන මාහිමියන් වහන්සේලා ද දහම් පාසලේ ප‍්‍රගමනයට මහත් අත්වැලක් වූහ. අතිපූජ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසුව මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමිපාණන්වහන්සේ වජිරාරාමාධිපති ධුරයට පත් වූ අතර උන්වහන්සේ විසින් 1991 වසරේ දී දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේ දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ධුරයට පත් කළ සේක.

1998 වසරේ දී දහම් පාසලේ අධ්‍යක්ෂ ධුරයට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් ද ප‍්‍රධානාචාර්ය ධුරයට කඹුරුගමුවේ මහානාග හිමිපාණන් ද පත් වූහ. ඉන් පසුව වජිරාරාමයේ ප‍්‍රධානාචාර්ය ධුරය දරනු ලැබුවේ, කඹුරුගමුවේ මහානාග හිමිපාණන් වහන්සේ ය.

මඩිහේ මහ නා හිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව නාඔටුන්නේ ගුණසිරි හිමි කෙටි කලක් විහාරාධිපති ධුරය හෙබවූ අතර, ඉන් පසුව අතිපුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නා හිමිපාණන්වහන්සේ වජිරාරාමාධිපති ධුරයට පත් වූහ. සිරි වජිරාරාම දහම් පාසල උපදේශක මණ්ඩලයකින් හා කළමනාකරණ මණ්ඩලයකින් සමන්විතව නව සංවිධාන ව්‍යුහයකට අනුගත කළ, තිරිකුණාමලේ ආනන්ද නාහිමියෝ, තරුණ සහ ජව සම්පන්න ලෙස දහම් පාසල මෙහෙයවිය හැකි මීගොඩ සුඛිත හිමියන්ට එහි ප‍්‍රධානාචාර්ය ධුරය භාර දුන්හ.

මේ වන විට දෙදහසකට අධික සිසු දැරූ දැරියන් පිරිසක් දහම් අධ්‍යාපනය හදාරන, සියයකට අධික ආචාර්ය මණ්ඩලයක් සේවයේ යෙදෙන සිරි වජිරාරාම දහම් පාසල මඩිහේ මහා නා සමිඳුන් විසින් හඳුන්වා දුන් ප‍්‍රතිපත්තිය, දැක්ම සහ මෙහෙවරට අනුව ක්‍රියාත්මක වෙයි. ඒ අනුව අදට යෙදෙන දහම් පාසලේ සිය වැනි සංවත්සරය සඳහා ප්‍රධාන පාඨය වන්නේ ද “සදහම සවිමත් පරම්පරාවක් – මිනිසි දහම් සරු සිරි ලංකාවක්”යන්නයි.

සියවස්‌ සමරු මහා උලෙළ

‘සියවස් සමරුව’ වෙනුවෙන් විශේෂයෙන් සංවිධානය කෙරෙන ‘සියවස්‌ සමරු මහා උලෙළ‘ වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහානාහිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට දින (19) පස්‌වරු 2.30 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

අග්ගමහා පණ්‌ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානාහිමියන් මූලාසනය හොබවන මෙම උත්සවයේදී, වජිරාරාමාධිපති, ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්‌ෂිත නිකායේ මහනායක රාජකීය පණ්‌ඩිත තිරිකුණාමලේ ආනන්ද නාහිමි, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේණාධිපති දර්ශනාධිපති බලන්ගොඩ සෝභිත නායක හිමි හා දක්‌ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි එහිදී අනුශාසනා දෙසුම් පැවැත්වීමට නියමිතය. තවද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් විශේෂ ආරාධිත දේශනයක්‌ ද පවත්වනු ලැබේ.

දහම් පාසලේ සියවස්‌ සැමරුම නිමිත්තෙන් සංස්‌කරණය කරන ලද සියවස්‌ සැමරුම් ග්‍රන්ථය ඇතුළු පුනර්මුද්‍රිත ග්‍රන්ථ කිහිපයක් ද මෙදින එළිදක්‌වනු ලැබේ. සිරි වජිරාරාම දහම් පාසල පිළිබඳව නිර්මාණය කරන ලද කෙටි වාර්ථාමය වැඩසටහනකින් සහ සහන් රන්වල ප්‍රමුඛ රන්වල බළකාය ඉදිරිපත් කරන ප්‍රසංගයකින් ද මෙම උළෙල විචිත්‍රවත් වේ.

සියවස් සමරුව දින උදෑසන සිදු කළ රුක් රෝපණ වැඩසටහන:

– ඡායාරූප: ආසිරි ජයවර්ධන මහතා

සියවස් සමරුව දින සවස සිදු කළ අටවිසි බුද්ධ පූජා පිංකම:

– ඡායාරූප: සිතාරා කුමුදුණි මිය

Leave a Reply